Pages

Friday, March 23, 2012

අනුන් ගැන වද වෙන මිනිස්සු...



මේ දවස්වල මට දැවෙන ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙන දෙයක් ගැනයි කියන්න යන්නේ. මේක ඉස්සර නම් එච්චරම දැවෙන එකක් නෙමෙයි. දැන් නම් තත්ත්වය බරපතලයි. නමේ හැටියටම මමත් චූටි තමයි. ඒ කියන්නේ හැමදාම හරහට මිටි වුනා මිසක් කවදාවත් හරහට උස ගිහින් නැහැ. ඒකට කියන නම තමයි මේ post එකේ තහනම් වචනේ. පුලුවන්නම් හොයාගන්න. 

මේක මට වඩා ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ අනිත් අයට. නෑදෑ ගෙදරක ගියොත්
 "අය්යෝ ළමයෝ කන්නේ නැද්ද? ඔව් ඉතින් දැන් ගෙදරත් නෙමෙයිනේ ඉන්නේ නේද, හරියට කෑමක් ඇඟට   වැටෙන්නේ නැහැනේ ". 

පරණ යාලුවෙක් හම්බුනොත්
"ආනේ ඔයා තවත් *** වෙලා ". 


නැත්නම් කාලෙකින් call කරොත් හරි FB එකෙන් chat කරොත් හරි
 "ඔයා තාමත් ඉස්සර වගේමද?".

කවදාවත් දැකපු නැති කෙනෙක් අඳුරගන්න ලැබුනොත් මුලින්ම අහන්නේ
 "ඔයා කන්නේ නැද්ද අනේ ". 

හපෝ ...මට නම් ඉතින් පුරුදුයි දැන් ඔය ප්‍රශ්නාවලිය..
මේක දැවෙන ප්‍රශ්නයක් වුණේ මට training යන්න උනාට පස්සේ. එදා interview එකට ගියේ අම්මත් එක්ක. ගිහින් ආයෙමත් බස් එකේ ගෙදර එනකොට මට call එකක් ආවා, මම interview එකට ගියපු තැනින්. මාව තෝරගෙන.... පුදුම සතුටක් ඇතිඋනේ ආයෙමත් interview යන්න ඕන නෑ නේද කියල . බස් එකේ සද්දේ වැඩි නිසා එහා පැත්තෙන් කියපු දේවල් හරියට ඇහුනේ නෑ. මම පස්සේ ගන්නම් කියලා  call එක cut කරා. බස් එක තේ බොන්න නතර කරා. මම ආයෙත් මට call එක ආපු  number එකට කතා කරා. ඊලගට එහා පැත්තෙන් කියපු දේ ඇහිලා අර දෝරේ ගල ගලා තිබුන සතුට හුළං බැහැපු බැලුම් බෝලයක් වගේ උනා. 

මට යන්තමින් වගේ මේ ටික ඇහුනා.
 "යූ හැව් ටු වෙයා සාරීස් ".

 මොකක්? ...කියලා අහන්න බැරි නිසා මම ආයෙත් ඇහුවා "සාරීස්....?".
 "යා, ඉට් 'ස් අ රූල් ඔෆ් අවර් කම්පනි...බ්ලා බ්ලා බ්ලා "...

.මදැයි කොලා..අම්ම කඩේට ගිහින් මොනවද ගේන්න... මං ආපු ගමන් කිව්වා දුරකථන සංවාදය ගැන.
 "ඉතින් කමක් නෑ, සාරි ඇඳන් යන්න..දැන් ඉතින් අලුතෙන් ඇඳුම් හදාගන්නත් වෙයි ".

 අම්මා මේ වෙඩිමක් කියවනවා . මං දහ අතේ කල්පනා කරන්නේ "මං කොහොමද සාරි ඇඳන් මහ මග යන්නේ" කියල.

කොහොමින් කොහොමින් හරි  මටත් ඩෙනීමෙන් සාරියට බහින්න උනා කියමුකෝ.

මුල් දවස්වල ගියේ බස් එකේ.. කෝච්චියේ ඒවෙලාවට ගිහින් යන්තම් තියෙන අත පය ටික කඩාගන්න බැරි නිසා..දවසක් බස් එකේ හිටගෙන ගියේ මං...වැඩි සෙනගත් නෑ...එක පාරටම බ්රේක් ගැහුවා  ....එක අතක් අත ඇරිලා මාව කරකැවිල ගියා. අනිත් අතින් අල්ලගෙන හිටපු හින්දා නොවැටී බේරුණා. එතනම වාඩි වෙලා හිටපු අය්ය කෙනෙක් නැගිටලා මට වාඩිවෙන්න කිව්වා. මාත් ඉතින් වාඩි උනා. මං හිතුවේ එයා බහිනවා කියලා .බහින පාටකුත් නෑ .. මට තේරුණා සිද්ධිය...ටිකක් වෙලා යනකොට මගේ ඇස් දෙක බොඳ වේගෙන යනවා වගේ තේරුණා..මම එහෙමම අතට ඔලුව තියාගෙන නිදි වගේ හිටියා....මට දැන් දැනෙනවා මුණ දිගේ පහලට...ඊලගට අත දිගේ... එහෙමම බෑග් එකෙන් ලේන්සුව අරගෙන මූණට තියාගත්තා..නවත්තගන්න බෑ මොනවා කරත්...මම මටම බැනගත්ත "මෝඩි..මේ බස් එකේ ඉන්නේ ...ඕක නවත්තගන්නවා" ...හරිගියේම නෑ ..කොටුවට කිට්ටු වෙනකොට මූණත් පිහිදගෙන ඔලුව උස්සල බලනකොට අර අය්යා තාමත් හිටගෙන...මට මං ගැන පුදුම විදියට දුක හිතුන දවසක් ඒක...

කෝච්චියට සීසන් ගත්තට පස්සේ හොඳ ළමයෙක් වගේ උදේ පාන්දරින්ම නැගිටලා වැඩට යන්න පුරුදු උනා. උදේම ගියාම වැඩිය සෙනග නැති එකක යන්න පුළුවන්.. දැවෙන ප්‍රශ්නය උග්‍ර වෙන්නේ  දැනුයි..ගොඩක් වෙලාවට හිටගෙන තමයි ටිකක් දුර යනකම් යන්න වෙන්නේ..ඉතින් ඔහොම යනකොට එක එක ජාතියේ අය නගිනවා, බහිනවා, වාඩිවෙලා ඉන්නවා , හිටගෙන ඉන්නවා...තව set එකක් ඉන්නවා කන්න වගේ මං දිහා බලාගෙන ඉන්නවා..ගැණු, පිරිමි භේදයක් නෑ..මට වෙලාවකට අහන්න හිතෙනවා
ඇයි මැජික් ද කියල (හොඳ වෙලාවට මං එහෙම අහන්නැති හින්ද හොඳයි) ..තව සමහරක් ඉන්නවා අතින් කතා කරලා අනිත් අයටත් මැජික් පෙන්නන අය..මගේ ඇස් දෙක කොයි වෙලාවකවත් එක තැනක නෑ..ඒ ඇස් දෙකට ඒවගේ දේවල් අහු නොවී තියෙන්නේ ගොඩක් කලාතුරකින්...ඊට පස්සේ තමයි ජොලිම වැඩේ වෙන්නේ...දෙවෙනි කෙනා මැජික් බලන්න මගේ පැත්තට හැරෙන්න කලින් මම ඒ පැත්ත බලාගෙන ඉන්නවා..දෙන්නම මගේ පැත්ත බලනකොට පෙන්නපු කෙනාටයි , බලපු කෙනාටයි කර කියා ගන්න දෙයක් නැති වෙනවා...පව් වැඩේ..හික්ස් ..

තව අය ඉන්නවා මම බැලුවත් ඇස ඉවතට නොගෙන බලාගෙන ඉන්න අය....ඒ වෙලාවට හිසේ සිට පාදාන්තය දක්වා දැවී හළුවී යන විදියේ බැල්මක් හෙලුවම එයාලගේ බැලුම් වල හුළං බහිනවා නිකන්ම ...(මෙහෙම කරත් තවත් බලාගෙන ඉන්න අයත් ඉන්නවනේ ඇත්තට...ඒ අයට කරන්න ඕන දේ නම් මටත් හිතාගන්න බෑ තාම..)..අනේ ඇත්තට මිනිස්සුන්ට වෙන වැඩ නැද්ද මන්දා..කොහොමත් තමන්ගේ ඇහේ තියෙන පොල් පරාලෙට වඩා අනුන්ගේ ඇහේ තියෙන කුණු රොඩ්ඩ පේනවලුනේ...


ප.ලි : හරහට තව ටිකක් විතර උස යන්න තියෙනවනම් මමත් ආසයි තමයි....ඒ කොහොම උනත් පොඩි හරි අඩු පාඩුවක් තියෙන කෙනෙක් දිහා එයාල අපහසුතාවයට පත් වෙන විදියට බලන්න එපා.. හැමෝම එක වගේ නැහැනේ...

4 comments:

  1. අපි කවදාවත් ලද දෙයින් සතුට පත් වෙන සත්තු ජාතියක් නෙවේ යාළු . මමත් ඔයත් අපි කවුරුත් එහෙමයි මොනවා හරි අඩුවක් අපි අපේ දකිනවා .

    අඩුපාඩුවක් තියන කෙනෙක් දිහා අපහසුතාවයට ලක් වෙන විදිහට බලන එක නම් වැරදියි . මමත් පොඩි කාලේ එහෙම බැලුවා .ඒත් දැන් වෙනස් .

    ඉතින් අලුත් බ්ලොග් එක නතර නොකර දිගටම ලියාගෙන යන්න ..සුබ පැතුම්

    ReplyDelete
    Replies
    1. ගොඩක්ම ස්තුතියි....
      මම මුලින්ම බ්ලොග් ලියන්න පටන් ගත්තේ හිස් අහස කියවලා..ආසාවට ..ඒ හිස් අහසේ අය්තිකාරයාගෙන් මුල්ම කමෙන්ටුව ලැබුන කියන්නේ ගොඩක් සතුටුයි..

      මගේ අඩුව මට හොඳයි...එත් ඒක අනිත් අයට ප්‍රශ්නයක් වෙනකොටනේ බලාගෙන ඉන්න බැරි...ගොඩක්ම හිතට වද දෙන දෙයක් නිසයි මුලින්ම මේක ලියවුනේ...

      Delete
  2. මටත් පේන්න බැහැ අනුන්ගෙ අඩුපාඩු හොයන අය.එයාලා හිතාගෙන ඉන්නේ තමන් සර්වසම්පූර්ණයි කියලා.අනුන්ගෙ අඩුපාඩු හොයන එකම කොයි තරම් අඩුවක්ද කියලා එයාලට තේරෙන්නෙ නැහැ.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි කමෙන්ටුවට..
      ඒක ඇත්ත...
      තමන්ට කවදාහරි එහෙම දෙයක් දැනෙනකම් ගොඩක් අයට එයාලගේ ඒ අඩුව තේරෙන්නේ නැහැ.

      Delete