Pages

Monday, April 23, 2012

පොඩි එකාගේ ෂෝට් නෝට් එක




හැමදාම වගේ උදේම ලෑස්ති වෙලා ස්ටේෂන් එකට දිව්වේ කලින් යන කෝච්චියක් අල්ලගන්න හිතාගෙන.
මං මේ පැත්තෙන් පඩිපෙළ නගිනකොට එහා පැත්තෙන් කෝච්චිය යනවා.

"කොහොමත් ඒකෙ සෙනග, මං කලින් ආවත් වැඩක් නෑ, ඊලග එකේම යනවා" 

කියල අර මොකෙක්ද එකෙක් එක පාරක් කරා වගේ මාත් හිත හදාගෙන ඉඩ තිබුණ බංකුවකින් වාඩි උණා.
තව ඉතින් වෙලා තියෙනවනේ කියල සූටි මලකුත් කඩන්න ගත්තා. ඉතින් ඔහොම ඉන්නකොට මං ළගින් වාඩි උණේ නැතැයි කොල්ලෙක්...... 
 දැන් මේක කියවන එවුවො හිතන් ඇති එක පැත්තකින් මල් කඩන ගමන් අනිත් පැත්තෙන් කොල්ලොන්ට ඇහැ දාගෙන ඉන්නවැයි කියල..

ඕකනේ ඉතින් කරන්න බැරි. කොල්ලෙක් කිව්වට ඒකා තුනේ හතරේ විතර පොඩි එකෙක්. 
දැන් හරිය......... 

ඒ වෙලාවට වැඩි හරියක් ඉන්නේ වැඩට යන්න ඉන්න කට්ටිය. ඉස්කෝලේ යන පොඩි එකෙක් දැක්කමයි ඔය.
පොඩි එකාගේ අතේ ලියුමක් වගේ හතරට නවපු කොටු රූල් කොලයක්. කොලයක් කිව්වට අර පොත්වල මැද පිටු තියෙන්නේ. අන්න එයින් එකක්. 
එයා ඒක හෙමින් සැරේ දිග ඇරගෙන හොරෙන් වගේ බලනවා දැන්. 
ඒක දිහා බලල ආයේ ටිකක් ඔලුව උස්සනවා. තිබුණ දේවල් මතක් කරනවා වගේ ඉන්නවා
අයෙත් බලනවා , ඇහෙන නෑහෙන ගානට කටිනුත් කියවනවා. අපිත් ඉතින් විභාගයක් එහෙම කට ළගට ආවම යන එන ගමන් ඔය වගේ පොඩි ෂෝට් නෝට් ගහගෙන ගිහින් බලනවනේ. 
අඩේ මුන් මෙච්චර පොඩි කාලෙත් ඔහොම කරනවනම් ලොකු උනාම කොහොම වෙයිද කියල මට හිතුණා. 


මටත් ඉතින් නිකන් ඉන්න බෑනේ. අර කොල්ලගේ කොලේට මාත් හෙමීට එබුණා.
ලොකු බෝල අකුරු වලින්, රූල් පහ හයක් ඇර ඇර ලියපු පේලි වගයක් තිබුණා. මුළු කොලේම පිරෙන්න. 

................................................
................................................
................................................

ඔබ තරම් පෙම් කල කිසිවෙක් 

..............................................
..............................................
..............................................
..............................................

නැති තරම් මේ ලෝකයේ කොහෙවත් 

.............................................
.............................................
.............................................

මම බලනවා දැකපු පොඩි එකා ඒක ඉක්මනට නවලා බෑග් එකේ දාගත්තා. ඒ වෙලාවෙම කොහෙද ඉදන් ආපු ඒකගෙ අම්මා එයාවත් ඇදගෙන ගියා...

ඒක ඉවරයි එතනින්.
මම ඔය කතාව ගෙදර ගියපු වෙලාවක අපේ නංගිට කිව්වා..

"අපෝ ඕක මොකක්ද, උදේට අර එකේ දෙකේ ළමයි යන වෑන් එක මං මුණ හෝදන වෙලාවට ජාතික ගීය කියාගෙන යන්නේ "
"දවසක් ඔය වෑන් එක අපේ ගේ ළග නවත්තලා තිබුණා. පොඩි එවුන් ටික අප්පුඩි ගගහ මොකක්ද සින්දුවක් කියනවා. මං ටිකක් හොඳට අහගෙන හිටියා. "
"දිගු දෑස දුටුවාම, හැඟෙනවා පෙර සේම ................"


මේ පොඩි එවුවො දැම්ම ඉඳල සුපර් ස්ටාර් වලට ලෑස්ති වෙනවද මන්දා........

Thursday, April 5, 2012

සුනාමි මැරතන් - 2





පහළ සෙනග පිරිලා. ඒ අස්සේ මගේ යාළුවෙකුයි එයාගේ අක්කයි ත් හිටියා. ගෙදරට ඇඳන් හිටපු ඇඳුම් පිටින්ම අර මහ සෙනග මැද්දේ. යාළුවා හොඳටම අඬනවා. එයාලගේ ගෙවල් තිබුණෙ මුහුද කිට්ටුව.

මම එයාල ළඟට ගියා. 



"අනේ ඉක්මනට ගෙදර යන්න" යාළුවා කිව්වා. 

මට මේ මොනවද වෙන්නේ කියල හිතාගන්න බැරුව හිටියේ.
"නංගි ඔයා ඉක්මනට ගෙදර යන්න, තවත් මෙතන ඉන්න එපා". අක්ක සැරෙන් වගේ කිව්වා.

මම එහෙමම මං නැවතිලා හිටපු බෝඩිමට දිව්වා. එතනට පන්තියේ ඉඳන් එච්චර දුරක් නෑ. ඒ වෙලාවේ මං දැක්ක අපේ සර් (රු) ත් පාරේ එහාට මෙහාට දුවනවා. සර් ලගේ ගෙවල් ගාල්ලේ කියල නම් මම දැනන් හිටියා. 

තව මං දැක්කා කඩේක ඉස්සරහ තියල තිබුන මල් පෝච්චියක්  කඩේ ඇතුලෙන් තියල ඒ කඩේ වහන්න හදනවා. මට හිතුන තව ටිකකින් මුහුද ඇවිත් මේ ඔක්කොම යට කරන් යනකොට ඔය මල් පෝච්චිය විතරක් ඉතුරු වෙන්නෙ කොහොමද කියල. 

බෝඩිමට යනකොට එහෙ මළගෙයක් වගේ. හැමෝම අඬනවා. මට ඒ දවස්වල ෆෝන් එකක් තිබුණෙ නෑ. බෝඩිමට ගිහින් ගෙදරට කෝල් එකක් ගන්න හැදුවා. ඒකත් හරිගියේ නෑ. කතා කිරිල්ල පැත්තක දාල මං මගේ කාමරේට ගියා. ඕනම කරන පොත් ටිකයි, ඇඳුම් ටිකයි, ඉස්කෝලේ සපත්තු දෙකයි ඉස්කෝලේ අරන් යන බෑග් එකටයි තව බෑග් දෙකකටයි  දාගත්ත. මේවා කරනගමන්  මට හිතෙන්නේ තව ටිකකින් මුහුද මෙතනට එයි, ඔක්කොම යට කරන් යයි කියල. ඒ නිසා මට වටින කියන දේවල් විදියට තිබුණ ඔක්කොම ලට්ට ලොට්ට පුළුවන් තරම් අර බෑග් වල ඔබා ගත්ත. උස්ස ගන්නත් බැරි තරම් බරයි. 

යන්තම් ඒවත් කරගහගෙන බෝඩිමෙන් එලියට පනිනකොටම  අර මං කලින් කියපු අපේ සෙට් එකේ එකෙක් කොහෙන්දෝ ඇවිත් ඒ වෙලාවෙම මට සෙට් උණා. ඒක නම් පුදුම වෙලාවක් (ඔය වගේ තවත් තැනක් ඉස්සරහදි එනවා).  මට එයාව කොහොම මග ඇරුනද කියල මට තම මතක නෑ. එයත් එක්ක තව අපේ පැත්තට යන ළමයෙකුත් හිටියා.

බෝඩිම ඉස්සරහින් තියෙන පාරෙන් ගියාම අපේ ගෙවල් පැත්තට යන පාරට යන්න පුළුවන් කියල අපි දැනන් හිටියා. එත් අපි කවදාවත් ඒ පාරේ ගිහින් නැහැ. කොහොම උනත් ඒකෙන් ගියාම රට ඇතුලටනේ යන්නේ කියල මුළු ඇගේම තියෙන සත්තිය කකුල් වලට අරන්  අපිත් ඒ පාර දිගේ දිව්වා. කලබලෙන් දුවන මිනිස්සු, වාහන පාර පුරාම. ඒ පාර දිගේ ගියාට හැරෙන්න ඕන මොන තැන්වලින්ද කියල අපි දැනගෙන හිටියේ නැහැ. ඉස්සරහට හම්බවෙන අයගෙන් අහගෙන තමයි ගියේ. 

එක එක තැන්වලින් හැරිලා ටික ටික ඇතුලට යනකොට අර කලබලෙන් දුවන මිනිස්සු මග ඇරිලා අන්තිමට, දුවන කණ්ඩායමකට හිටියේ අපි විතරයි. ඒ හරියේ ගෙවල් වල මිනිස්සු ගෙවල් වලින් එලියට බැහැල බලාගෙන ඉන්නවා මේ මැරතන් කණ්ඩායම දිහා. එයාලට හිතෙන්න ඇති
"මුන්ට මොන පිස්සුවක් හැදිලද මෙහෙම පණ කඩාගෙන දුවන්නේ" කියලා. 
එයාලට එහෙම හිතෙන අතරේ අපට හිතුණා
"පෙරහැරක් යනවා වගේ අපි දිහා බලන් ඉන්නේ, තව ටිකකින් ඇවිත් මේ ඔක්කොම යට කරන් යයි" කියලා. 

ඒ අයට මේ අමුතු සිද්ධිය ගැන දැනිලා නොතිබුණ නිසා මෙහෙම බලන් ඉන්නවා කියලා හිතපු අපි ඒ අයටත් කිව්වා වෙලා තියෙන දේ ගැන . අපි පොඩි කෙල්ලෝ ටිකක් නිසාද මන්දා සතේකට ගණන් ගත්තේ නෑනේ. අපරාදේ කියන්න බෑ, යන පාර නම් හරියට පෙන්නලා දුන්නා. 

ඔහොම දුවල දුවල ගිහින්, බස් යන පාර පේන මානේ තියෙද්දී ගලක කකුල පැටලිලා අර උස්සන් ආපු බඩු බාහිරාදියත් එක්කම මාව බිම ඇදගෙන වැටුණා. ජීවිතේට උස්සපු නැති තරම් බරක් උස්සගෙන, ජීවිතේට පයින් නොගියපු තරම්  දුරක් එක දිගට දුවගෙන ගිහින් එක පාරට බිම ඇදගෙන වැටුණම දිව්‍ය ලෝක සැපක් තමයි දැනෙන්නේ. මට නැගිටගන්න බැරුව එහෙමම හිටියා. 
මාත් එක්ක ආපු  මැරතන් කණ්ඩායම මාව පහුකරන් ටිකක් දුර ගියාට පස්සේ එකෙක් අඩුයි කියලා දැනගත්තම තමයි ආයේ හැරිලා බැලුවේ. මරණ බය උපරිමේටම දැනුණ දවසක් ඒක. එහෙම වෙලාවක වෙන දේවල් ගැන සිහියක් නෑනේ. යන්තම් එයාලගේ උදව්වෙන් නැගිට ගත්තට පස්සේ තමයි දැක්කේ දණහිසයි, වැලමිටයි තුවාල වෙලා ලේ බේරෙනවා. හිතේ තිබුණ බය වැඩිකමට මට ඒ තුවාල වල වේදනාව දැනුනේ නෑ. මගේ යාළුවා මගේ එක බෑග් එකක් ඉල්ල ගත්තා. ආයෙමත් අපේ ගමන පටන්ගත්තා. දැන් අපි ඉන්නේ බස් යන පාරේ. බස් එකක් තියා මනුස්සයෙක්වත් නෑ පේන මානෙක.

 "මේ හරියට වතුර එන එකක් නෑ නේද ?" කියලා එක්කෙනෙක් ඇහුවා. 
අපි ගොඩක් දුර ආවනේ, මේ හරියට එන එකක් නෑ කියලා අපි හිත හදාගත්තා. දැන් නම් බය ටිකක් අඩුයි. දැන් තියෙන ප්‍රශ්නේ ගෙදරට යාගන්නේ කොහොමද කියන එක. එන එන වාහනවලට අත දදා අපි හෙමින් හෙමින් ඉස්සරහට ගියා. ගොඩක් වාහන අපිව පහු කරන් ගියා. 

එක පොඩි බස් එකක් අපිව පහුකරන් ටිකක් දුර ගිහින් නැවැත්තුවා. ඒ බස් එක වෙනදට ඒ පාරේ යන එකක් නෙමෙයි කියලා අපිට බස් එක දැකපු ගමන්ම තේරුණා. මොකක්වත් නැති එකේ මේකත් මොකෝ කියලා අපිත් ගිහින් නැග්ගා. එකේ හිටපු අය කතා කරේ දෙමළෙන්. සිංහල පුළුවන් අය අපිත් එක්ක කතා කරා. එයාල ට්‍රිප් එකක් ගිහින්, මුහුද ගොඩ ගලන නිසා ආයෙමත් හරවාගෙන යන ගමන්. එයාලා අපට කන්න දේවල් දුන්නා. වතුර දුන්නා. මැරෙන්න ඔන්න මෙන්න වගේ හිටපු අපට ඒවා අමුර්ථය වගේ උණා.


වාඩිවෙලා ටිකක් දුර යනකොට තමයි මගේ තුවාල ගැන මතක් උණේ. මගේ ලේන්සුවට වතුර දාල තුවාලෙට තියාගෙන හිටියා. ඒ අස්සේ මගේ යාළුවා අඬනවා "අනේ අපේ ඉස්කෝලේ " කියලා.
 මට මැවිලා පෙනුණා අපේ ඉස්කෝලේ කඩාවැටිලා තියෙන හැටි. (මුහුද ගොඩ ගලනවා දැකල නැති නිසා ලොකු ගං වතුරකට අහු උණ ගොඩනැගිල්ලක් තමයි පෙනුනේ )


බස් එකේ කට්ටිය අපි බහින්න ලං වෙනකොට අපිත් එක්ක ගොඩක් යාලු උණා.එක අක්ක කෙනෙක් හිටියා අපිත් එක්ක ගොඩක් කතා කරපු. අපි එයාගේ ඇඩ්රස්  එකත් ඉල්ල ගත්තා. 

එයාලට පින් සිද්ධ වෙන්න අපට ඊලග බස් ස්ටෑන්ඩ් එකට එන්න  පුළුවන් උණා. මම යන බස් එකේ නෙමෙයි අනිත් අය යන්නේ. කොහොමහරි තම තමන්ගේ ගෙවල් වලට යන බස් වලට කට්ටියම නැග ගත්තා. 

මම යන බස් එක එක ටවුන් එකකට යනවා. ඒකට යන්න, ආපු ප්‍රධාන පාරෙන් තව පාරකට දාල එහේ ඉන්න කට්ටිය අරගෙන ආයෙමත් ඒ පාර දිගේම ඇවිත් ප්‍රධාන පාරට සම්බන්ධ වෙනවා. එහෙම ගිහින් එන්න තියෙන්නේ ටික දුරයි.

 ඔහොම ගිහින් එන අතරමගදී මම දැක්කා අපේ තාත්තගේ බයික් එක ඒ පාර අයිනේ නවත්තල තියෙනවා. මට දැන් හිතාගන්න බෑ බහින්නද එපාද කියලා. හිතල හිතල අන්තිමේට මම තීරනෙකට ආව,
 බහින්න. 
එතන හෝල්ට් එකකුත් නෙමෙයි, බෙල් එක ගහල ගහල යන්තම් බැහැගත්ත. මෙන්න එතකොටම තාත්ත එනවා. මම අර කලින් කියපු විදියට ඒකත් පුදුම වෙලාවක්. තාත්ත ඇවිත් තියෙන්නේ මාව හොයන්න යන්න. මම තාත්තව දැක්කේ නැත්නම් හරි, මම බස් ඒකෙන් බැස්සේ නැත්නම් හරි ලොකු අවුලක් වෙන්න ඉඩ තිබුණා. 

 මම යනකොටත් ටී වී එකේ පෙන්නනවා ඒ වෙනකොට වෙලා තිබුණා දේවල්. එච්චර දෙයක් ගැන මම හිතලවත් තිබුණෙ නෑ. මෙච්චර දේකින් බේරිලා ආපු නිසා ගෙදර ගියාට පස්සේ මට හරි සැලකිලි. ඒත් ඉතින්  වතුර කඳුලක් වත් නොදැක දුවපු අපි ගැන අපිනේ දන්නේ. 

අපේ තාත්තට කඩයක් තියෙනවා. මං ඉතින් අර තුවාල දම්පාට බෙහෙත් වලින් ලස්සනට පාට කරගෙන ඉන්නකොට කඩේට එන අය අහනවා ඔය මොකද කියලා. ඒ වෙලාවට තාත්ත දෙන උත්තරෙන් එදා මොන මෝඩකමකට දිව්වද කියලා හිතෙනවා.
 "මේ සුනාමියට බයේ දුවලා, වතුර පොදක්වත් ඇහැට දකින්නැතුව".

ප. ලි : එදා අපට බස් එකේදී හම්බුන අක්කට මම ලියුමක් ලිව්වා ස්තුති කරලා. එයත් මට එවල තිබුණා එකක්. ඒක තාම මං ළඟ තියෙනවා. පුළුවන් උනොත් මම ඒක ඔයාලටත් බලන්න දාන්නම්.
මතකද මම මුලින් කිව්වා අපේ සර් කලබලෙන් දිව්වා කියලා. සර් ගේ ගෙවලුත් මුහුද ළඟ. ගෙදර ඔක්කොම විනාස වෙලා. බුදු පිළිමේ විතරක් තිබුණ විදියටම තිබුනලු. සර් ඒක කිව්වේ සුනාමියෙන් හරියටම සතියකට පස්සේ ඉරිදා පන්තියේදී. එච්චර දෙයක් වෙලා තියෙද්දිත් සර් පන්තිය නැවැත්තුවේ නැහැ. 


Saturday, March 31, 2012

සුනාමි මැරතන්




2004 දෙසැම්බර් 26  කියන්නේ ගොඩක් අයට අමිහිරි මතකයන් ගොඩක් ඉතිරි කරලා ගියපු දවසක්.. එහෙම මතක තියෙන කෙනක් නම් මේක බලන්න පටන්   ගන්න කලින්ම කියන්නේ  ඔයා  කැමතිනම් විතරක් කියවන්න..(මම ඒ දවස මතක් කරලා වැරද්දක් කරා නම් සමාවෙන්න )


එතකොට මං හිටියේ 13 වසරේ.. 
ගෙදර  ඉඳන් පන්ති වලට යන්න එන්න අමාරු නිසා ඉස්කෝලේ කිට්ටුව බෝඩිමක තමයි නැවතිලා හිටියේ..
දෙසැම්බර් 25 කියන්නේ සෙනසුරාදා දවසක් ..එදා පෝය දවසක්, ඒ වගේම නත්තල් දවස...මතක ඇති කාලෙකට නත්තල් දවසයි පෝය දවසයි එකම දවසකට වැටුනේ එදා ..
ඉතින් එදා මම ගෙදර හිටියේ..රෑ වෙනකම් ටී වී බැලුවා..මට හොඳට මතකයි නත්තල් කැරොල් වැඩසටහනක්   තිබුණා.  ඒකෙ අය සින්දු කියනකොට මාත් කිව්වා.
ඉතින්  එහෙම කිය කිය ඉඳල අපේ අම්මගේ බාසාවෙන් කියනවනම් ටී වී එකේ ජාතික කොඩිය  වැනෙනකම් ඉඳලා  ජාතික ගීයත් කියලා තමයි නිදාගන්න ගියේ

ඇඳට වැටුන විතරයි අනිත් පැත්තට  අම්මගේ එලාම් ඒක වදින්න ගත්තා.
" චූටි නෝ....නා...  පහමාරයි  අද  පන්ති යන්නේ නැද්ද...."

මට ඇහිලා තියෙන්නේ දෙවෙනි එලාම් එක ..පලවෙනි එක වදින්නේ 5.15 ට විතර..
6 ට  හරි , 6.15 ට  තියෙන බස් එකේ යන්න බැරිඋනොත් පන්තියේ පේලි අල්ලනවා බොරු..අපේ සෙට් එකේ එකෙක් හරි කලින් ඇවිත්  තිබුනොත් හොඳයි..නැත්නම් එක එක්කෙනා එක එක තැන්වල ඉන්නකොට තියෙන හිතේ අමාරුව දන්නෝ දනිති... 

හැමදාම වගේ අම්මටයි, පන්තියේ සර්ටයි , ඒ ලෙවල් කියලා විභාගයක් තියන ඔක්කොම එවුන්ටයි හිතෙන් බැන බැන නිදිමතේම ගිහින් මුණ කට හෝදගෙන විනාඩි 10 කින් විතර ඇඳ පැළඳගෙන පන්තියටත් ගියා කියමුකෝ. අපේ පන්තිය තියෙන්නේ තට්ටු 3 ක ගොඩනැගිල්ලක 2 වෙනි තට්ටුවේ.
සර් අපට ගණන් වගයක් හදන්න දීල කොහෙද ගියා..
ඒ වෙලාවේ අංකල් කෙනෙක්  ආවා  එයාගේ දුව අපේ පන්තියේ ඉන්නවද කියලා බලන්න..එයා දැනගෙන හිටියේ නෑ හරියටම එයාගේ දුව ඉන්නේ මොන පන්තියේද කියලා..ඒ නිසා හැම මැත්ස් පන්තියකම හොයලා.එහෙම හොයාගෙන යන ගමන් තමයි අපේ පන්තියට ඇවිත් තිබුනේ.

"මුහුද ගොඩ ගලනවා, එයාට ගෙදර එන්න එපා කියන්න ආවේ මම "

ඒ අංකල්ගේ දුව අපේ පන්තියේ හිටියේ නෑ.තව පන්ති තියෙන තැන් වගයක් අපේ පන්තියේ ළමයින් ගෙන් අහගත්ත ඒ අංකල් යන්න ගියා.
දැන් ගණන් හැදිලි පැත්තක..කට්ටියටම ප්‍රශ්නේ මේක..හැමෝටම ඒක විහිළුවක් වගේ වෙලා තිබුණේ..
"මුහුද ගොඩ ගලනවලු, අපේ අර ඉස්සර සිංහල පොතක තිබුණ වගේ මේ පාර කාව බිලි දෙන්න වෙයිද දන්නෑ" කට්ටියම හිනා වෙවී  ඒක ගැන කතා කර කර හිටියා. ටික වෙලාවකින් පහලින් ලොකු සද්දයක් ඇහෙන්න ගත්තා.
සර් (රු) ත් කොහේදෝ ඉඳල ඒක පාරටම පන්තියට ආව.
"මුහුද ගොඩ ගලනවා, ඔයාල ගෙවල් වලට යන්න "
මොකද මේ වෙන්නේ කියල අපට හිතාගන්න බැරිඋනා.  ලොකු බයක් දැනුනම මගේ පපුව හිරවෙන්න වගේ ගන්නවා. මට ඒ වෙලාවෙත් එහෙම උණා. මුළු පන්තියම දැන් ඒක රොත්තට පඩිපෙළ බහිනවා. මාත් ඒ අස්සෙන් කොහොමහරි පහලට බැහැගත්තා..




ප. ලි : කතාව ටිකක් දිගයි, ඉඩක් ලැබුණ ගමන් ඉතුරු ටික ලියන්නම් 


Friday, March 23, 2012

අනුන් ගැන වද වෙන මිනිස්සු...



මේ දවස්වල මට දැවෙන ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙන දෙයක් ගැනයි කියන්න යන්නේ. මේක ඉස්සර නම් එච්චරම දැවෙන එකක් නෙමෙයි. දැන් නම් තත්ත්වය බරපතලයි. නමේ හැටියටම මමත් චූටි තමයි. ඒ කියන්නේ හැමදාම හරහට මිටි වුනා මිසක් කවදාවත් හරහට උස ගිහින් නැහැ. ඒකට කියන නම තමයි මේ post එකේ තහනම් වචනේ. පුලුවන්නම් හොයාගන්න. 

මේක මට වඩා ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ අනිත් අයට. නෑදෑ ගෙදරක ගියොත්
 "අය්යෝ ළමයෝ කන්නේ නැද්ද? ඔව් ඉතින් දැන් ගෙදරත් නෙමෙයිනේ ඉන්නේ නේද, හරියට කෑමක් ඇඟට   වැටෙන්නේ නැහැනේ ". 

පරණ යාලුවෙක් හම්බුනොත්
"ආනේ ඔයා තවත් *** වෙලා ". 


නැත්නම් කාලෙකින් call කරොත් හරි FB එකෙන් chat කරොත් හරි
 "ඔයා තාමත් ඉස්සර වගේමද?".

කවදාවත් දැකපු නැති කෙනෙක් අඳුරගන්න ලැබුනොත් මුලින්ම අහන්නේ
 "ඔයා කන්නේ නැද්ද අනේ ". 

හපෝ ...මට නම් ඉතින් පුරුදුයි දැන් ඔය ප්‍රශ්නාවලිය..
මේක දැවෙන ප්‍රශ්නයක් වුණේ මට training යන්න උනාට පස්සේ. එදා interview එකට ගියේ අම්මත් එක්ක. ගිහින් ආයෙමත් බස් එකේ ගෙදර එනකොට මට call එකක් ආවා, මම interview එකට ගියපු තැනින්. මාව තෝරගෙන.... පුදුම සතුටක් ඇතිඋනේ ආයෙමත් interview යන්න ඕන නෑ නේද කියල . බස් එකේ සද්දේ වැඩි නිසා එහා පැත්තෙන් කියපු දේවල් හරියට ඇහුනේ නෑ. මම පස්සේ ගන්නම් කියලා  call එක cut කරා. බස් එක තේ බොන්න නතර කරා. මම ආයෙත් මට call එක ආපු  number එකට කතා කරා. ඊලගට එහා පැත්තෙන් කියපු දේ ඇහිලා අර දෝරේ ගල ගලා තිබුන සතුට හුළං බැහැපු බැලුම් බෝලයක් වගේ උනා. 

මට යන්තමින් වගේ මේ ටික ඇහුනා.
 "යූ හැව් ටු වෙයා සාරීස් ".

 මොකක්? ...කියලා අහන්න බැරි නිසා මම ආයෙත් ඇහුවා "සාරීස්....?".
 "යා, ඉට් 'ස් අ රූල් ඔෆ් අවර් කම්පනි...බ්ලා බ්ලා බ්ලා "...

.මදැයි කොලා..අම්ම කඩේට ගිහින් මොනවද ගේන්න... මං ආපු ගමන් කිව්වා දුරකථන සංවාදය ගැන.
 "ඉතින් කමක් නෑ, සාරි ඇඳන් යන්න..දැන් ඉතින් අලුතෙන් ඇඳුම් හදාගන්නත් වෙයි ".

 අම්මා මේ වෙඩිමක් කියවනවා . මං දහ අතේ කල්පනා කරන්නේ "මං කොහොමද සාරි ඇඳන් මහ මග යන්නේ" කියල.

කොහොමින් කොහොමින් හරි  මටත් ඩෙනීමෙන් සාරියට බහින්න උනා කියමුකෝ.

මුල් දවස්වල ගියේ බස් එකේ.. කෝච්චියේ ඒවෙලාවට ගිහින් යන්තම් තියෙන අත පය ටික කඩාගන්න බැරි නිසා..දවසක් බස් එකේ හිටගෙන ගියේ මං...වැඩි සෙනගත් නෑ...එක පාරටම බ්රේක් ගැහුවා  ....එක අතක් අත ඇරිලා මාව කරකැවිල ගියා. අනිත් අතින් අල්ලගෙන හිටපු හින්දා නොවැටී බේරුණා. එතනම වාඩි වෙලා හිටපු අය්ය කෙනෙක් නැගිටලා මට වාඩිවෙන්න කිව්වා. මාත් ඉතින් වාඩි උනා. මං හිතුවේ එයා බහිනවා කියලා .බහින පාටකුත් නෑ .. මට තේරුණා සිද්ධිය...ටිකක් වෙලා යනකොට මගේ ඇස් දෙක බොඳ වේගෙන යනවා වගේ තේරුණා..මම එහෙමම අතට ඔලුව තියාගෙන නිදි වගේ හිටියා....මට දැන් දැනෙනවා මුණ දිගේ පහලට...ඊලගට අත දිගේ... එහෙමම බෑග් එකෙන් ලේන්සුව අරගෙන මූණට තියාගත්තා..නවත්තගන්න බෑ මොනවා කරත්...මම මටම බැනගත්ත "මෝඩි..මේ බස් එකේ ඉන්නේ ...ඕක නවත්තගන්නවා" ...හරිගියේම නෑ ..කොටුවට කිට්ටු වෙනකොට මූණත් පිහිදගෙන ඔලුව උස්සල බලනකොට අර අය්යා තාමත් හිටගෙන...මට මං ගැන පුදුම විදියට දුක හිතුන දවසක් ඒක...

කෝච්චියට සීසන් ගත්තට පස්සේ හොඳ ළමයෙක් වගේ උදේ පාන්දරින්ම නැගිටලා වැඩට යන්න පුරුදු උනා. උදේම ගියාම වැඩිය සෙනග නැති එකක යන්න පුළුවන්.. දැවෙන ප්‍රශ්නය උග්‍ර වෙන්නේ  දැනුයි..ගොඩක් වෙලාවට හිටගෙන තමයි ටිකක් දුර යනකම් යන්න වෙන්නේ..ඉතින් ඔහොම යනකොට එක එක ජාතියේ අය නගිනවා, බහිනවා, වාඩිවෙලා ඉන්නවා , හිටගෙන ඉන්නවා...තව set එකක් ඉන්නවා කන්න වගේ මං දිහා බලාගෙන ඉන්නවා..ගැණු, පිරිමි භේදයක් නෑ..මට වෙලාවකට අහන්න හිතෙනවා
ඇයි මැජික් ද කියල (හොඳ වෙලාවට මං එහෙම අහන්නැති හින්ද හොඳයි) ..තව සමහරක් ඉන්නවා අතින් කතා කරලා අනිත් අයටත් මැජික් පෙන්නන අය..මගේ ඇස් දෙක කොයි වෙලාවකවත් එක තැනක නෑ..ඒ ඇස් දෙකට ඒවගේ දේවල් අහු නොවී තියෙන්නේ ගොඩක් කලාතුරකින්...ඊට පස්සේ තමයි ජොලිම වැඩේ වෙන්නේ...දෙවෙනි කෙනා මැජික් බලන්න මගේ පැත්තට හැරෙන්න කලින් මම ඒ පැත්ත බලාගෙන ඉන්නවා..දෙන්නම මගේ පැත්ත බලනකොට පෙන්නපු කෙනාටයි , බලපු කෙනාටයි කර කියා ගන්න දෙයක් නැති වෙනවා...පව් වැඩේ..හික්ස් ..

තව අය ඉන්නවා මම බැලුවත් ඇස ඉවතට නොගෙන බලාගෙන ඉන්න අය....ඒ වෙලාවට හිසේ සිට පාදාන්තය දක්වා දැවී හළුවී යන විදියේ බැල්මක් හෙලුවම එයාලගේ බැලුම් වල හුළං බහිනවා නිකන්ම ...(මෙහෙම කරත් තවත් බලාගෙන ඉන්න අයත් ඉන්නවනේ ඇත්තට...ඒ අයට කරන්න ඕන දේ නම් මටත් හිතාගන්න බෑ තාම..)..අනේ ඇත්තට මිනිස්සුන්ට වෙන වැඩ නැද්ද මන්දා..කොහොමත් තමන්ගේ ඇහේ තියෙන පොල් පරාලෙට වඩා අනුන්ගේ ඇහේ තියෙන කුණු රොඩ්ඩ පේනවලුනේ...


ප.ලි : හරහට තව ටිකක් විතර උස යන්න තියෙනවනම් මමත් ආසයි තමයි....ඒ කොහොම උනත් පොඩි හරි අඩු පාඩුවක් තියෙන කෙනෙක් දිහා එයාල අපහසුතාවයට පත් වෙන විදියට බලන්න එපා.. හැමෝම එක වගේ නැහැනේ...

Saturday, March 17, 2012

චූටිනෝනා ගේ ලෝකය....


අවසරයි හැමෝගෙන්ම....

මුලින්ම මං ගැන චූටි විස්තරයක් කියල ඉන්නම්කො....අම්මයි, තාත්තයි මට චූටි නෝනා කිව්වට ගෙදර ඉන්න ලොකුම අක්ක තමයි මම...සීයට මම චූටි මැණිකේ, ලොකු නංගිට කොහොමත් මම අක්කනේ... ඒත් පොඩි  නංගි එයාගේ අක්කල දෙන්නට වෙන් කරලා කතා කරන්න ඕන නිසා එයාට මම චූටි නෝනා අක්කා...

කොහේ ගියත් වැඩි කතාවක් බහක් නැතුව පැත්තකට වෙලා තමන්ගේ පාඩුවේ වැඩක් කරගෙන ඉන්න කෙනෙක් තමයි මම....ඒත් එහෙම පාඩුවේ ඉන්න ගියාම පාඩු වෙන වෙලාවලුත් නැතුවම නෙමෙයි...
හතරවටේට පිරෙන්න, නමට විතරක්  යාලුවෝ  හිටියත් මං කව්ද කියල හරියට දැනගෙන හැම දුකෙදීම සතුටෙදීම එකට ඉන්න හොදම යාලුවෝ ඉන්නේ අතේ ඇඟිලි ගානටත් අඩුවෙන්...එයාලට මම උන්ගි, බටු ඇටේ...තව ගොඩක් නම් තියෙනවා ඉතින්...

මගේ ලෝකේ ගොඩාක් සිදුවීම් තියෙනවා සමහර වෙලාවට කාටවත් කියාගන්න බැරුව හිතේ හිරවෙලා තිබුණ...මගේ ලෝකේ ඇතුලට ඇවිත් ඒවා බලන්න, කියවන්න, හිනාවෙන්න, දුක සතුට බෙදාගන්න හැමෝටම කෙරෙන චූටි ආරාධනාවක් තමයි මේ......